හැඳින්වීම

සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය පිණිස 1955 ඔක්තෝම්බර් 01වැනි දින රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පිහිටුවන ලැබූ අතර 1956 වර්ෂයේ රාජ්‍ය භාෂා පනත සම්මතවීමෙන් පසුව විශේෂ කොමසාරිස් වරයකු යටතේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කරන ලදී.

1987-13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 1988-16 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව සිංහල හා දෙමළ භාෂා ද්විත්වය ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා බවට පත් කෙරුණු අතර, ඉංග්‍රීසි සන්ධාන භාෂාව ලෙස නම් කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයේ 18 හා 19 වන ව්‍යවස්ථාවල සඳහන් වන පරිදි භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා දැනට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පහසුකම් සලසන්නා ලෙස කටයුතු කරන අතර, ඒ අනුව ඉහත සඳහන් භාෂා තුනට අදාළ පරිවර්තන කටයුතු රජයට සපයාදීමත්, රාජ්‍ය සේවකයන්ගේ භාෂා නිපුණතා වැඩිදියුණු කිරීමත්, පාරිභාෂික ශබ්දමාලා සකස් කිරීමත්, භාෂාව පිළිබඳ පෙළපොත් සහ ශබ්දකෝෂ සම්පාදනය කිරීමත් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබයි.

වර්තමානයේ  රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම දෙපාර්තමේන්තු‍වේ ප්‍රධාන තනතුර රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් විසින් හොබවනු ලබයි. මෙම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව අංක 341/7, කෝට්ටේ පාර, රාජගිරිය යන ලිපිනයේ පිහිටා ඇත.

 

දැක්ම

“සහජීවනයෙන් පිරිපුන් සාමකාමී ත්‍රෛභාෂික සමාජයක්”

මෙහෙවර

“ජනවාර්ගික සමගිය හා සාමය අරමුණු කරගත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම සඳහා පහසුකම් සැලසීම හා සම්බන්ධීකරණය”

දෙපාර්තමේන්තුව ඉටුකරනු ලබන කාර්යයන්

  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2007 හා 07/2007 පරිදි රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබා ගැනීමට නියමිත නිලධාරින් සඳහා අදාළ ලිඛිත හා වාචික පරීක්ෂණ පැවැත්වීම හා සහතිකපත් නිකුත් කිරීම.
  • රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල භාෂා පරිවර්තන කාර්යයන් ඉටු කිරීම. (සිංහල/ඉංග්‍රීසි/දෙමළ)
  • විවිධ විෂයයන් සඳහා පාරිභාෂික පදමාලා සම්පාදනය කිරීම. (සිංහල/ඉංග්‍රීසි/දෙමළ)
  • රජයේ නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතා විභාග සඳහා වන පෙළපොත්, උපකාරක ග්‍රන්ථ සම්පාදනය කිරීම.
  • ත්‍රිභාෂා ශබ්දකෝෂ සම්පාදනය.
  • නවීන තාක්ෂණික ක්‍රම උපයෝගි කරගනිමින් සිංහල,‍ දෙමළ, ඉංග්‍රීසි භාෂා මෙන් ම වෙනත් විදේශීය භාෂා, භාෂා විද්‍යාගාරයක් තුළ දී ඉගැන්වීම හා විභාග පැවැත්වීම.
  • බාහිර ආයතනවල කාර්ය මණ්ඩල සඳහා භාෂා ප්‍රවීණතා විභාග හා කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම.
  • විශ්වවිද්‍යාල හා පිළිගත් අධ්‍යාපනික ආයතනවල භාෂා පරිවර්තන පාඨමාලා හදාරන්නන්ට ප්‍රායෝගික පුහුණුව ලබාදීම.

සංවිධාන ව්‍යුහය

ශ්‍රී ලං.පරි.සේ.(විශේෂ) ශ්‍රේණිය - ශ්‍රී ලංකා පරිපාලන සේවය (විශේෂ) ශ්‍රේණිය
ශ්‍රී ලං.පරි.සේ.- ශ්‍රී ලංකා පරිපාලන සේවය
පරිනි රා.කළ. ස. සේ. අධි ශ්‍රේ. - පරිපාලන නිලධාරි රාජ්‍ය කළමණාකරණ සේවය අධි ශ්‍රේණිය
තො.තා.නි - තොරතුරු තාක්ෂණ නිලධාරි
සං. නි - සංවර්ධන නිලධාරි
කළ. ස. සේ - කළමනාකරණ සහකාර සේවය
තො. සං.සහ. - තොරතුරු සංනිවේදන සහකාර