වර්ෂ 1943  විශේෂ අධ්‍යාපන කාරක සභා නිර්දේශ මත  අධ්‍යාපනයේ භාෂා මාධ්‍ය ඉංග්‍රීසියෙන් මව් බසට පරිවර්තනය වීමේ දී පාරිභාෂික ශබ්ද මාලා සම්පාදනය ආරම්භ විය. 1956 සිට අංක 33 දරන පනත මගින් රාජ්‍ය භාෂා නීතිය ක්‍රියාත්මක වීමත් සමග පාරිභාෂික පදමාලා සම්පාදනය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මුඛ්‍ය කාර්යයක් බවට පත් විය.

1956 සිට 1987 කාලය තුල විවිධ විෂය සඳහා ඉංග්‍රිසි - සිංහල, ඉංග්‍රිසි - දෙමළ, දෙමළ - ඉංග්‍රිසි, සිංහල - දෙමළ ආදි වශයෙන් පාරිභාෂික ශබ්දමාලා 60ක් පමණ මෙම දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කර මුද්‍රිත කෘති ලෙස පළ කර ඇත.

1987 වර්ෂයේදී දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වීමත්, ඉංග්‍රිසි භාෂාව සන්ධාන භාෂාව බවට පත්වීමත් සමඟ භාෂාත්‍රයේ පදමාලාවල අවශ්‍යතාව තවදුරටත් දැඩි විය.

ඒ අනුව මුල් කාලයේදී සකස් කළ පාරිභාෂික පදමාලා යාවත්කාලීන කර ප්‍රතිශෝධනය කිරීමත්, සමාජ අවශ්‍යතාව අනුව හඳුනාගන්නා ලද නව විෂය ක්ෂේත්‍ර සඳහා පාරිභාෂික පද සම්පාදනයත්, 2005 වර්ෂයේ සිට නව ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන ලදී.

2013 වර්ෂයේ සිට මේ දක්වා සම්පාදිත පාරිභාෂික පදමාලා සහ යාවත්කාලීන කළ පදමාලා 78 ක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ (www.languagesdept.gov.lk) Termino Hub වෙබ් පිටුව යටතේ පළකර ඇත. මීට අමතරව සෙවුම් ඒකකයක් (Search system) සහිතව සකස් කරන ලද පදමාලා 53 ක් අඩංගු සංයුක්ත තැටියක් අන්තර්ජාල පහසුකම් නොමැතිව ද භාවිත කිරීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇත.

ඇපල් හා ඇන්රොයිඩ් (Apple & Android) පද්ධති යටතේ නිර්මාණය කරන ලද පදමාලා 78ක් අඩංගු ජංගම මෘදුකාංගයක් (Mobile App) Google - play මගින් Termino  Hub -  Department of Official Languages යන නමින් බාගත කරගත හැකිය.